Sunday, March 29, 2020

රට තුල පවත්නා ව්‍යසනකාරී තත්වය තුල ඔබට හෘදයාබාධ තත්ත්වයක් ඇති වුවහොත්,



ඔබට හෘදයාබාධ තත්ත්වයක් ඇති වුවහොත්,




පෙරේදා දිනයේ දී ( 27) රට තුල පවත්නා ගැටලු කාරී තත්වය හමුවේ සියලුම ඔසුසල් වසා දමන්නට රජය තීරණය කර තිබුනා.නමුත් මෙම තත්වය රාජ්‍ය ඔසුසල් වලට බලපවත්වන්නේ නැති බැවට එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් උණා.රටේ කුමන තත්වයක් පැවතියත් පුද්ගලයින් අසනීප වීමට ඒ කිසිදු සාධකයක් අදාල වන්නේ නැහැ.මේ අනුව සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය, ගෑස්ට්‍රික් වැනි  රෝග පුද්ගලයාට දැඩි සේ බල නොපෑව ද අධික වේදනාවක් ගෙන දෙන රෝග ද මේ අතර පවතින්න හැකියාවක් පවතී.ඒ අතර හෘදයාබාධ තත්වය එනම් Heart Attack නිසා පුදගලයින්ට අධික වේදනාවක් ඇතිවන බව වෛද්‍ය මතය වී තිබෙනවා.මේ අනුව මෙම ලිපිය ඔස්සේ පවත්නා ඇදිරිනීති තත්වය හා වසංගත කාලය තුල ඔබට හෝ ඔබගේ සමීපතමයෙකුට හෘදයාබාධයක් වැළඳුනහොත් ඒ සඳහා ගත සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි වේ.ඒ අනුව මේ සම්බන්ධව ශ්‍රී ලංකා සෞඛ්‍ය කාර්යාංශය මගින් තොරතුරු රැසක් අනාවරණය කර තිබෙනවා.

හෘදයාබාධයක් කියන්නේ මොකක්ද..?

හෘදයාබාධ විදිහට අපි හඳුන්වන්නේ බොහොම සංකීර්ණ සහ විශාල වපසරියක තිබෙන රෝග සමූහයක්. එහිදී අපි වැඩියෙන් දැනුවත් වියයුතු වන්නේ හෘදයට ලේ සැපයීමේ එසේත් නැත්නම් කිරීටක ධමනීන්ගේ ලේ සැපයුම අවහිර වීම නිසා ඇති වෙන රෝග තත්ත්වයන් ගැනයි.පුද්ගල ශරීරයේ සෑම අවයවයකටම රුධිරය පසැපයීමේ  කාර්යය සිදු කරනු ලබන්නේ හෘදය මඟින්.මෙය උපතේ සිට මරණය දක්වා සිදුවන අඛණ්ඩ ක්‍රියාවලියක්.ඒ අනුව හෘදයට විඩාවක් නොමැතිව රිද්මයානුකූලව ස්පන්දනය වෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් නිරෝගී, වැඩිහිටියෙකුගේ හෘදය ස්පන්ධනය විනාඩියකට 72 වාරයක් පමණ අගයක් ගන්නවා. මේ කාර්යය නිසි අයුරින් සිදු වීමට නම් හෘදයට නිරන්තර ඔක්සිජන් සහ පෝශක ද්‍රව්‍ය වල සැපයුමක් ලැබිය යුතුයි.

හෘදයේ ඇති පේශි වලට අවශ්‍ය ඔක්සිජන් බහුල රුධිරය සපයනු ලබන්නේ කිරීටක ධමනි (coronary arteries) මඟින්.ඒ අනුව හෘදයාබාධයක් ඇති වෙන්න හේතුව වන්නේ   කිරීටක ධමනි වල සිදු වන අවහිරවීම් නිසා අවශ්‍ය තරමේ රුධිර සැපයුමක් හෘත් පේශි වලට නොලැබීමයි.


කිරීටක ධමනි වල අවහිරවීම සිදු වෙන්නේ රුධිර කැටිති සිරවීම මගින්. කොලෙස්ට්‍රොල් වගේ අඩු ඝණත්ව ලිපිඩ වර්ග කිරීටක ධමනි බිත්ති වල තැන්පත් වීම නිසා කිරීටක ධමනි වල අභ්‍යන්තර වට ප්‍රමාණය අඩු වීමක් සිදුවෙනවා. එවිට මෙම කිරීටක ධමනි බිත්තිය රුධිර කැටියක් සිරවීම මඟින් අවහිර වීමට ඇති සම්භාවිතාවය ඉතාමත්ම ඉහලයි.මෙහිදී රුධිරය නොලැබෙන පේශි කොටස මුලින්ම අඩාල වන අතර, නිසි ප්‍රතිකාරයක් නොලැබුණොත් සම්පූර්ණ හෘත් පේශියම මිය යාම සිදුවේ.  එබැවින් නිසි ප්‍රතිකාර සඳහා යොමු කළොත් හදිසි හෘදයාබාධයකට ලක් වූ අයෙක්ව ජීවිත හානියකින් තොරව ගලවා ගැනීමේ වැඩි ඉඩකඩක් පවතිනවා.

මෙය තවත් සරලව පැහැදිලි කරනවා නම් හෘදයාබාධ යනුවෙන් හෘද වස්තුවේ මාංශපේශී තුවාල වීම හෝ සම්පුර්ණයෙන් ම මිය යෑම හැදින්විය හැකියි. මාංශ පේශී මිය ගියහොත් එය ප්‍රබල හෘදයාබාධ තත්ත්වයක් ලෙස හඳුන්වනු ලබයි. එමෙන් ම මාංශ පේශී තුවාල වීමක් සිදු වුවහොත් එය සුළු හෘදයාබාධ තත්ත්වයක් වශයෙන් හඳුන්වන්න පුලුවන්.


හෘදයාබාධ වැළඳෙන්නේ ඇයි..?

පුද්ගලයින්ට විවිධ හේතූන් නිසා හෘදයාබාධ ඇතිවිය හැකි අතර ඒ සදහා පහත සාධක බලපානු ලබයි.

01.අධික දුම්පානය.
02.අධික මේද සහිත ආහාර ගැනීම.
03.දියවැඩියාව.
04.රුධිරයේ ඉහළ කොලෙස්ටරෝල් මට්ටම.
05.අධි රුධිර පීඩනය.
06.අධිබර හෝ තරබාරු බව.
08.වයස්ගත බව.
09.පරම්පරාගත සාධක.
10.දීර්ඝකාලීන ආතති.


ඒ අනුව මෙම හේතු මත පුද්ගලයින්ට හෘදයාබාධ වැළඳීමේ වැඩි ඉඩකඩක් පවතී.ආතතිය සම්බන්ධව මීට පෙර ලිපි ඔස්සේ අවබෝධයක් ලබා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.https://kasunchamarasenanayake.blogspot.com/2020/03/blog-post.html

රෝග ලක්ෂණ මොනව ද..?

01.පපු ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවන දැඩි වේදනාව.

හෘදයාබාධයකදී පපු ප්‍රදේශය ආශ්‍රිතව ඉතාමත්ම දැඩි වේදනාවක් ඇතිවෙනවා. මෙය හදවතේ සිට වම් අත දක්වා හෝ, පිට ප්‍රදේශය දක්වා හෝ, උදරය දක්වා පැතිරයාම සිදු විය හැකියි.

02.උදරයේ වේදනාව හා උදරය ආශ්‍රිතව ඇති වන අපහසුකාරී තත්ත්ව.

බොහෝ දෙනෙක් මෙම වේදනාව ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් සමඟ ඇති වන වේදනාවක් යැයි සිතා නොසලකා හැරීම සිදුකරනවා. නමුත්, මෙහි සඳහන් ලක්ෂණ එකක් හෝ කිහිපයක් සමඟ මෙම වේදනාව ඇති වනවා නම් ඒ පිළිබඳව සැලකිළිමත් වීම වැදගත් වෙනවා.

04.වමනය.

වමනය කිරීමට පෙර උදරයේ ඇති වන අපහසුකාරී තත්ත්වයට සමාන තත්ත්වයක් හෝ වමනය කිරීමක් සිදු විය හැකියි.

05.හුස්ම ගැනීමේ අපහසුතා.

මෙහිදී ශ්වසන මාර්ගයේ අවහිරතාවයක් ඇති ලෙසින් දැනෙන්නට පටන් ගන්නවා. ඔබ සාමාන්‍ය අවස්ථාවලදී ආශ්වාස කරනු ලබන හුස්ම ප්‍රමාණයේ අඩු වීමක් ලෙස මෙය දැනෙන්නට පුළුවන්.

06.අධික ලෙස දහඩිය දැමීම.

ඔබ බිය පත් වූ අවස්ථාවක දහඩිය දමන ආකාරයට, හෘදයාබාධයකදී ඇතැම්විට දහඩිය දැමීමක් ඇති වීමට ඉඩක් පවතිනවා.

මෙම අවස්ථාවක මොකක්ද  ගත යුතු පියවර..?

සාමාන්‍ය තත්වයකදී නම්,

01.කරමින් සිටින කාර්යය නවතා අන් අයව දැනුවත් කරන්න.

ඉහත රෝග ලක්ෂණ අනුව ඔබට හෘදයාබාධයක් ඇති වෙමින් පවතින බව හැඟේනම් වහාම ඔබ කරමින් සිටින කාර්යය නවත්වන්න. ඔබ වාහනයක් පදවන අතරතුර නම් වාහනය මාර්ගයෙන් පසෙකට කර නවත්වන්න. වහාම අසල සිටින අයෙකුට ඔබට හෘදයාබාධයක් ඇතිවී ඇති බව දැනුම් දෙන්න. නැත්නම් ඔබේ සමීපතමයෙකුට ඒ බව දැනුම් දෙන්න.එවිට ඔවුන්ට ඔබව රෝහල් ගතකිරීමට හැකියි.

02.ඇස්ප්‍රීන් භාවිතා කරන්න.

ඔබේ වෛද්‍යවරයාගේ නිර්දේශය ඇත්නම් සහ ඔබට සහායට කවුරුන් හෝ පැමිණෙන තුරු ඔබට ඇස්ප්‍රීන් පෙත්තක් සැපීමට පුළුවන්. ගිලීමට වඩා සැපීමෙන් ඉක්මනින්ම මෙම ඖෂධය ශරීරයට අවශෝෂණය වන බව වෛද්‍යමතයයි.

03.අනවශ්‍ය ලෙස බියනොවන්න, කලබල නොකරන්න.

බිය වීමකදී හෝ කලබල වීමකදී ශරීරයේ ඔක්සිජන් අවශ්‍යතාවය ඉහල යනවා. එවිට හෘදය වේගයෙන් ක්‍රියාත්මක වීම අවශ්‍යයි. මෙය හෘදයාබාධ තත්ත්වයකදී ඉතාමත් අහිතකර දෙයක්. එබැවින් සහාය ලැබෙන තුරු හැකිතාක් සන්සුන්ව, විවේකීව සිටින්න.

පවත්නා වසංගත තත්වය හමුවේ මෙම තත්වය සදහා විශේෂ උපදෙස් සෞඛ්‍ය කාර්යාංශය මගින්  ලබා දී ඇත.ඒ අනුව,

ඉහත ලක්ෂණ ඇති වූ පුද්ගලයකු වේ නම්, ඇස්ප්‍රින් පෙත්තක් හපා කෑම මූලික පියවර වශයෙන් ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය දැනුම්දෙනවා.

වහාම ළඟම ඇති රෝහල වෙත යාම හෝ සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා 1990 ඇමතිය යුතුයි.

උණ, උගුරේ වේදනාව ඇත්නම් රෝහල තුළදී අදාළ වෛද්‍යවරයා හමුවී ඔහුට ඒ බව පවසන ලෙසද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය වැඩිදුරටත් පවසනවා.

එමෙන්ම මෙවැනි තත්වයකදී රෝගියා සන්සුන් කිරීම හා කලබල කිරීමට ඉඩ නොදෙන්නට වගබලා ගැනීම ඇතිශය වැදගත් සාධකයක් වෙනවා.

කසුන් චාමර සේනානායක.
BA (sp) in Mass Media University Of Colombo (U.G) / Following DIP Counseling and psychology in IPS (SLNIPC)

reference :


No comments:

Post a Comment