Saturday, March 28, 2020

කොරෝනා මනසට බලපාන්නේ කොහොමද..?



කොරෝනා මනසට බලපාන්නේ කොහොමද..?







මේ වනවිට ගෝලීය වශයෙන් මානව සංහතියට ම පවතින්නේ පොදු ගැටලුවකි.ඒ පවත්නා covid - 19 වසංගතයෙන් කෙදිනක ගැලවීමක් ලැබේද යන්නයි.මේ තත්වය පහවගොස් කෙදිනක නිදහසේ හුස්මක් ගන්න ලැබේද යන්නයි.පුද්ගලයා ආත්මීය වශයෙන් ම සමාජීය සත්වයෙකු බව අපි දනිමු.ඒ අනුව මිතුරන් සමග කාලය ගතකරන්නට,ක්‍රීඩා කරන්නට,හවසට සප්පායමක් වන්නට වත් පුද්ගලයාට තිබූ නිදහස මෙම තත්වය හේතුවෙන් අතිශය සීමා කාරී ස්වභාවයකට පත්ව ඇත.අද අවසානයක් වේ යැයි හෝ හෙට අවසානයක් වේ යැයි සිතමින් දැන් බොහෝ දිනයන් ගතවී හමාරය.නමුත් එහි යථා ස්වභාවයක් කෙදිනක දක්නට හැකිවේද යන්න පිළිබඳ මුලු ලෝකයටම ඇත්තේ විශ්වාසයන් පමණකි.මෙවැනි තත්වයන් හමුවේ පුද්ගලයන්ගේ සාමාන්‍ය දින චර්යා අභියෝගයකට ලක්ව ඇත.ඒ තත්වය මුල් කාලීනව ගැටලුවක් නොවුන ද කාලයත් සමග එය පුද්ගල මනසට යම් යම් බලපෑම් ඇති කරමින් මානසික යහපැවැත්මට අභියෝගයක් විය හැකිය.මේ පිළිබඳව අවබෝධයක් ඔබට තිබිය යුත්තේ මානසික සෞඛ්‍ය අකර්මණ්‍යතා ශාරීරික සෞඛ්‍ය පිරිහීමට ද හේතුවක් විය හැකිනිසාය.සෞඛ්‍යය යනු කායික, මානසික,සමාජීය,සංස්කෘතික හා අධ්‍යාත්මික යහපැවැත්මේ පූර්ණත්වයයි.මේ අනුව පුද්ගල සමස්ත සෞඛ්‍ය තත්වය කෙරෙහි මානසික යහපැවැත්මේ වැදගත්කම පැහැදිලිය.ඒ අනුව මේ ඔස්සේ ඔබට පවත්නා වසංගත තත්වය හමුවේ ඇතිවිය හැකි මානසික ව්‍යාකූලතා හා ඒ සදහා පහසු ප්‍රතිකර්මයන් මේ ඔස්සේ අවබෝධ කරගත හැකිය.

පුද්ගලයෙකුගේ යහපත් මානසික සෞඛ්‍ය සඳහා,

01.සතුට හා ප්‍රබෝධය.
02.අවට පරිසරයට සුදුසු ලෙස හැඩගැසීමේ මානසික හැකියාව.
03.නිවැරදි තීරණ ගැනීමේ හා නිසිලෙස වගකීම් දැරීමේ හැකියාව.
04.රසවින්දනය.
05.නිර්මාණශීලිත්වය.
06.ස්වාධීනත්වය.
07.ආත්මාභිමානය.

යන කරුනු අතර පවත්නා සමබරතාවය අතිශය වැදගත් ය.ඒ අනුව පුද්ගලයාට ඇතිවන අන්තර් පුද්ගල හා සමාජීය ගැටලුකාරී තත්වයන් හේතුවෙන් මානසික සෞඛ්‍යයට විවිධ අභියෝග එල්ලවිය හැකිය.

ආතතිය (stress).

මනස, කය මෙන් නොව දැඩි ආතතියකට ඉක්‌මනින් ලක්‌වීමේ හැකියාවක්‌ ඇත. මෙහිදී සිදුවන්නේ මනසට ඇතිවන නොයෙකුත් තදබල ගැටලු සඳහා පිළිතුරු සොයාගැනීමට අපහසුවීම හෝ ජීවත්වීමේදී ලැබෙන තර්ජනයන්, අභියෝගයන් හේතුවෙන් මනසට දැඩි පීඩනයක්‌ ඇතිවීමයි. මෙවන් තත්ත්වයක්‌ ඇතිවීම නිසා සිරුරේ ඇඩ්‍රිනලීන් (adrenaline), සහ නෝඇඩ්‍රිනලීන් (noradrenaline) හා කෝටිසෝල් (crotisol) වැනි ආතතිය ඇති කිරීමේ රසායනිකයන් වැඩියෙන් ශ්‍රාවය වේ.
පවත්නා ත්තවය හේතුවෙන් පුද්ගලයින් තමන් කල යුත්තේ කුක්ද?, ඉදිරියට කුමක් වේවිද?, විභාග කල්‍ යයිද?, මෙය කවදා ඉවරයක් වේවිද? ආදී  කාරනා පිළිබඳ සිතීම,සිතින් වදවීම හේතුවෙන් පුද්ගලයා ආතතියට පත්විය හැකිය.මීට අමතර තමන්ට නිවසේ සිට පෙර මෙන් කිරීමට දෙයක් නොමැති වන විට ඇතිවන ගැටලු කාරී හැගීම් නිසා ද මෙම තත්වය ඇතිවිය හැක.ඒ අනුව ඔබ ආතතියෙන්  පෙළේ නම් ඔබ තුල පහත ලක්ෂණ දැකිය හැක,


01.නොරුස්සන  සුලු බව.
02.අනිසි බිය (Anxiety).
03.මනෝභාවය (Mood) පහත වැටීම.
04.ආත්ම අභිමානය පහත වැටීම.
05.සෘණාත්මක සිතුවිලි ඇතිවීම.
06.සිත එකඟ කරගැනීමට අපහසු වීම.
07.වැඩිපුර කථා කිරීම.
08.ආහාර පුරුදු වෙනස්වීම.
09.අමතක වීම.
10.තීරණ ගැනීමට අපහසු වීම.
11.හිසරදය.
12.ශරීරයේ වේදනාව.
13.උදරාබාධ ඇතිවීම.
14.දහඩිය දැමීම.
15.කට වියලී යෑම.
16.කරකැවිල්ල.
17.මුත්‍රා පිටවන හා වැසිකිලි යන රටාව වෙනස්වීම.
18.හුස්ම ගැනීමේ අපහසුව.
19.ලිංගික කටයුතු අකර්මණ්‍ය වීම.

මෙම තත්වයන් පුද්ගලයාගෙන් පුදගලයාට වෙනස් තත්වයන් පෙන්නුම් කරයි.ඒ අනුව ඔබට මෙම තත්ව පවතීනම් පහසු ක්‍රම ඔස්සේ මේ තත්වයන් මගහරවා ගත හැකි වන අතර මෙය සාමාන්‍ය තත්වයක් බැවින් අනිසි බියක් ඇතිකරගැනීමට අවශ්‍ය නැත.මේ කාලය තුල ඇවිදීම, ක්‍රීඩා කිරීම, නිවසින් පිට කාලය ගතකිරීම, මිතුරන් සමග විනෝද වීම වැනි ක්‍රියා සදහා යොමුවීමේ හැකියාවක් නැත.ඒ සදහා නීතිමය බාධක ද පැවැතීම ඊට ප්‍රධාන සාධකයක් වන්නේය.එසේනම් ඔබට එම ක්‍රම වලට අමතරව මානසික ආතතිමය තත්වය මගහරවා ගැනීමට මේවනවිට සිදුකල හැකි ප්‍රායෝගික ක්‍රම කිහිපයක් හැදින්විය හැකිය.

01. මිතුරකු සමග දුරකථනයෙන් සම්බන්ධ වන්න.
02.ස්වභාවික පරිසරයක කාලය ගතකරන්න.( ග්‍රාමීය පරිසරයක නම්)
03.ගෙදර වැඩ කරන්න.(මල් පාත්තියක් පිලියෙල කිරීම,නිවසේ පිලිවෙල වෙනස් කිරීම,ගෙමිදුල අලංකාර කිරීම)
04.සුරතල් සතුන් සමග ගතකරන්න.
05.සංගීතය රස විඳින්න.
06.චිත්‍රපටයක් නරඹන්න.
07.හොඳ පොත් කියවන්න.
08.ලිපි ලියන්න.(ඔබගේ විශයට අදාලව හෝ ඔබ ප්‍රිය කරන යමක් පිළිබඳව)
09.කවි ලියන්න. 
10.චිත්‍රයක් අඳින්න.
11.භාවනාවක යෙදෙන්න.
12.ව්‍යායාම කරන්න.

මේ අනුව මෙම ක්‍රම අනුගමනය කිරීම මගින් ඔබට ආතතිකමය තත්වයෙන් මිදිය හැකිය.

කාංසා අක්‍රමතාව (Anxiety Disorder).

පවත්නා තර්ජනාත්මක තත්වයට දක්වන ප්‍රතිචාරයක් වශයෙන් පුද්ගලයෙකුට කාංසාමය තත්වයන් ඇතිවිය හැකිය.මෙහිදී කනස්සල්ල හෝ බියක් වැනි නොසන්සුන්තාවයකින් යුතු හැගීම් ඇතිවිය හැකිය.පුද්ගලයෙකුට පවත්නා කාංසාමය තත්වය පහත රෝග ලක්ෂණ ඔස්සේ අවබෝධ කරගත හැකිය.මටත් මේ රෝගය වැළදෙයි ද?, එහෙම උනොත් මම මැරේවිද?, එදා මම අහවලා එක්ක හිටියා එයාට මේ ලෙඩේ තියනවද දන්නෑ, මගේ පවුලේ අයට මේ අසනීපෙ හැදේවිද? ආදී ලෙසින් පුද්ගලයි අහේතුක බියකට මේ හේතුවේදී පත්වේ.පවත්නා තත්වය යටතේ යම්කිසි කනස්සල්ලක් තිබීම සාමාන්‍ය උවද එය අසාමාන්‍ය ලෙස මනසට බලපෑම් කිරීමක් සිදුවේනම් එය කාංසා අක්‍රමතාවයක් ලෙස හැදින්විය හැකිය.මේ තත්වය දිගින් දිගටම පැවතීම යහපත් නොවන අතර සරල ප්‍රතිකාර ක්‍රම ඔස්සේ සුවය ලබාගත හැක.මේ හේතුවෙන්,

01.අධික හෘද ස්පන්ධනය.
02.අසාමාන්‍ය ලෙස දහඩිය දැමීම (නළලට හෝ අත් දෙකට විශේෂ වශයෙන්).
03.සිත එකඟ කර ගැනීමේ අපහසුතාවය.
04.නිදිමත ඇතිමුත් නින්ද නොයාම.

මේ සදහා සරල සංයම අභ්‍යාස (SR) ක්‍රම භාවිතා කල හැකි අතර විවිධ මනෝ ප්‍රතිකාර ක්‍රම ඔස්සේ සුවය ලබාගත හැක.

කෙසේ වෙතත් මෙම තත්ව දෙකම සදහා නිසි ආකාරයෙන් ප්‍රතිකාර ක්‍රම යොදා නැගැනීම හේතුවෙන් මෙම තත්වන්ගේ තීව්‍රතාවය  වැඩි වීමේ අවදානමක් පවතී.සාමාන්‍ය ලෙස මෙම තත්වයන්ට ඔබට මුහුනදීමට නොහැකිනම් සුදුසුකම් ලත් මනෝ උපදේශවරයෙකු යටතේ මේ සදහා ප්‍රතිකාර ලබාගැනීම වැදගතය.

මීට අමතරව පොදුවේ සදහන් කරනවා නම් පවුලේ උදවිය සමග සුහද තාවය වර්ධනය කරගැනීම, ජංගම දුරකතනය සමග සිදුකරන අධික ගනුදෙනු සීමා කිරීම, පවුලේ අය සමග සරල විනෝද ක්‍රියා වල නිරතවීම  වසංගත තත්වය පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව සිටීම හා නිසි පරිදි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම මගින් නව කොරෝනා වෛරස තත්වය හේතුවෙන් පුද්ගලයාට ඇති විය හැකි ශාරීරික හා මානසික රෝගී තත්ත්වයන් පහසුවෙන් සමනය කරගත හැක.

කසුන් චාමර සේනානායක.
BA (sp) in Mass Media University Of Colombo (U.G) / Following DIP Counseling and psychology in IPS (SLNIPC)

reference :

2 comments:

  1. ස්තූතියි කසුන්!
    කාලෝචිත ලිපියක්. මිනිස්සු දැනුවත් කිරීම ඉතා වටිනවා❤. සුබපතනව ඔයාට දිගටම ලියන්න🤜🤝

    ReplyDelete
  2. ස්තුතියි යාලුවා ❤

    ReplyDelete